රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සලේ මහතාව යහපාලන රජය, සිරගත කිරීමට උත්සහ කළා

Advertisement

යුද ජයග්‍රහණය සදහා විශාල දායකත්වයක් සැපයු රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාව පසුගිය යහපාලන රජය, රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුවී සිරගත කිරීමට උත්සහ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2018 වර්ෂයේ ඔක්තෝබර් ඇතිවු බල පෙරළියෙන් පසු ජනාධිපතිවරයාගේ උපදෙස් ක්‍රියාත්මක නොකරන ලෙස එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබු හෙයින් අන්තවාදයට එරෙහිව තමන් කළ නියෝග ක්‍රියාත්මක නොවු බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබාදීම සදහා අද (12) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ දෙවන දිමටය.

එම සාක්ෂි විමසීමට සවන්දීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් යන මහත්වරුන් එක්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.

එසේම මෙම ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට අදාළ ව වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු පිරිසක්ද ඔහුගේ සාක්ෂිවලට සවන්දීමට පැමිණ තිබුණි.

මෙහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඔබ රාජ්‍ය නායකයා ලෙස සිටි කාලය තුළ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කවරෙකු කටයුතු කළේද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ 2015 වර්ෂයේ අප්‍රේල් මස 20 දින අමාත්‍ය මණ්ඩලයට සංදෙශයක් ඉදිරිපත් කිරීමෙන් පසු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාව ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත්කළ බවය.

ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබ රාජ්‍ය නායකයාව සිටි සමය තුළ විටින් විට වෙනස් කරමින් ජනාධිපති ලේකම්වරු තිදෙනෙක් පත්කිරීම සිදුවුයේ මන්ද යන්නය.

“ස්වාමිනි පළමුව මගේ ලේකම්වරයා ලෙස පී.බි අබේකෝන් මහතාව පත්කළා. එතුමා පෞද්ගලික හේතුන් මත ඉවත්වුණාම ඔස්ටින් ප්‍රනාන්දු මහතාව පත් කළා. නමුත් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිධුරයේ පුරප්පාඩුවක් ඇතිවුණ නිසා ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයාව එම තනතුරට පත්කළා. ඉන්පසුවයි උදය ආර්.සෙනෙවිරත්න මහතාව පත්කළේ ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු දුන්නේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබ රාජ්‍ය නායකයාව සිටි කාලය තුළ විටින් විට ආරක්ෂක ලේකම්වරුන් පස්දෙනෙකු පත් කිරීම සිදුවුයේ මන්ද යන්නය.

“හේතු රාශියක් තියෙනවා ස්වාමිනි. ආරක්ෂක ලේකම් කියන්නේ ත්‍රිවිඩ හමුදාව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන ආයතන ගණනාවක ප්‍රධාන පරිපාලන නිලධාරියා. ඇතැම් අවස්ථා වලදි හමුදා නිල ඇඳුම ඇඳගත් අයව පාලනය කිරීමට ආරක්ෂක ලේකම්වරු පත්කරපුවාම එම තැනැත්තන්ගේ මානසික තත්ත්වයන් වෙනස් වෙනවා. ඇතැම් ලේකම්වරුන්ට බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවුණා. ඒ හේතුවෙන් මාරු කිරීම් සිදුවුණා. නමුත් සෑම අවස්ථාවකදිම ආරක්ෂක ලේකම් තනතුරට පත්කළේ රාජ්‍ය සේවයේ ඉහළම සුදුසුකම් තියෙන නිලධාරින්,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

එසේම එම ආරක්ෂක ලේකම්වරු මාරු කිරීම සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් මාධ්‍ය නොමැතිව සිදුකළ යුතු බව කොමිසමට දැන්වු හිටපු ජනාධිපතිවරයා එය ලිඛිතව කොමිසම් සභාව වෙත ඉදිරිපත් කළේය.

“මෙම කොමිසම හමුවේ මෙතෙක් සාක්ෂි ලබාදුන් රාජ්‍ය නිලධාරින් කියා තිබෙනවා මෙම විටින් විට ආරක්ෂක ලේකම්වරු මාරු කිරීම හරහා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු දැනුවත් කිරීමෙදී නිලධාරින්ට ප්‍රායෝගික ප්‍රශ්න ඇතිවුණා කියලා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ,” යැයි මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවාය.

“සෑම අඟහරුවාදාවකම බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමක් පැවැත්වුණා. ඒකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, ත්‍රිවිද හමුදා ප්‍රධානීන් වගේම ආරක්ෂක රාජ්‍ය ඇමතිත් සහභාගි වුණා. එබැවින් ආරක්ෂක ලේකම්වරු මාරු වුණාය කියලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අංශ දැනුවත් වෙන්න ඒක බාධාවක් වුණේ නැහැ. අනිත් අමාත්‍යාංශවලත් ලේකම්වරු මාරුවෙනවා,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය,”ඔබතුමා ඔහොම කිව්වට මෙතන පරස්පරතා තියෙනවා. 2015ට පෙර මේ අඟහරුවාදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අඛණ්ඩව සතිපතා තිබිලා තියෙනවා. ඔබතුමාගේ කාලයේදිත් මෙම බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් සතියකට වරක් පැවති බව ඔබතුමාට තහවුරු කරන්න පුළුවන්ද..? යැයි විමසා සිටියාය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම නොපැවැත්වුණු බවක් වාර්තා වුණේ නැහැ. කිසිවෙකු මට එහෙම දැනුවත් කිරීමක් කළෙත් නැහැ. එය අඛණ්ඩව පැවැත්වුණු බවක් තමයි පෙනී ගියේ,” යැයි පිළිතුරු දුන්නේය.

කෙසේ වෙතත්, මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම සතිපතා අඟහරුවාදා දින පැවැත්විය යුතු බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම නිසි පරිදි පවත්වා නොමැති බව හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දුන්නාය.

එහිදි එම වාර්තා අධ්‍යනය කළ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේ, “දැන් ඔය වාර්තා වලින්ම පෙනී යනවානේ ඇයි මම විටින් විට ආරක්ෂක ලේකම්වරුන් මාරු කළේ කියලා. මම ආරක්ෂක ලේකම්වරුන් මාරු කරපු එක සාධාරණයි. සතිපතා පැවැත්විය යුතු බුද්ධි සම්බන්ධිකරණ රැස්වීමවත් මොවුන් විධිමත්ව පවත්වා නැහැ. එය බරපතළ වගකීම් පැහැරහැරීමක්. මේක සතිපතා පැවැත්වෙනවා කියලා මටත් බොරුව තමයි කරලා තියෙන්නේ.”

ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, “2018 දෙසැම්බර් මස 24 වන දින ගැසට් නිවේදනයක් මගින් නීතිය හා සාමය අමාත්‍යාංශය  ඔබ විසින් ඔබ භාරයේ තිබු ආරක්ෂක අමාත්‍යංශය යටතට ගන්නවා. ඊට පෙර එක් අවස්ථාවකදි නීතිය හා සාමය අමාත්‍යාංශය සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා යටතේ තිබුණා. එම අවස්ථාවේ සාගල රත්නායක මහතා එම අමාත්‍යාංශයෙන් ඉවත් වී එය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේ මන්ද? යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුව තිබු එම අවස්ථාව වන විට අග්‍රාමාත්‍යවරයාට අමාත්‍යාංශ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය සහ ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ලැබී තිබු බැවින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිය හා සාමය අමාත්‍යංශය ඉල්ලා සිටි අවස්ථාවේ තමන් එය ලබාදුන් බවය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා කටයුතු කළ අවධියේ ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් තිබු පරීක්ෂණ ගැන ඔවුන් ගෙන්වා යම් විමසීමක් කළේද යන්නය.

“ඔව් මම එවකට අමාත්‍යවරයා වූ සාගල රත්නායක මහතා සහ අපරාධ පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගෙන්වා විමසීමක් කළා. විමසීමක් කළා නෙමේ තදින්ම දොස් කිව්වා. මොකද ඒ වෙද්දි යුද ජයග්‍රාහණයට මුල්වෙච්ච හිටපු ආරක්ෂක ලේකම්වරයාව සහ ත්‍රිවිඩ හමුදා ප්‍රධානින්ව අධිකරණයට ගෙනියන්න කටයුතු සිදුකෙරෙමින් පැවතුණා. යුද ජයග්‍රාහණයට මුල්වෙච්ච ප්‍රමුඛ පෙළේ නිලධාරියෙක් වන සුරේෂ් සලේව හිරේ දාන්න රාජ්‍ය නොවන සංවිධාන එක්ක එකතුවෙලා ඔවුන් වැඩ කළා. මමයි හමුදාපති එක්ක එකතුවෙලා සලේව හිරේ දාන එකෙන් බේරගන්න තනතුරක් දීලා මැලේසියාවට යැව්වේ. දවසක් යුද ජයග්‍රාහණයට මුල්වුණු හිටපු ආරක්ෂක ලේකම්වරයාවයි, ත්‍රිවිඩ හමුදා ප්‍රධානින්වයි උසාවියට ගෙනියලා තිබ්බා. එහෙම ගෙනියනකල් මම ඒ ගැන දැනසිටියේ නැහැ. අල්ලස් හා දුෂණ නඩුවක් හැටියට තමයි උසාවියට ගිහින් තිබ්බේ. මම ඒක පහුවෙනිදාම පදනම් ආයතනයේ තිබ්බ උත්සවයකදි දැඩිව විවේචනය කළා. අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරිය තමයි මේවාට මුල්වුණේ. එයා දවල්ට අල්ලස් කොමිසමේ ඉදලා සවසට අරලිය ගහ මැදුරේ දේශපාලනය කළා. මම ඇයව පදනම් ආයතනයේදි ප්‍රසිද්ධියේ විවේචනය කරලා දවස් දෙකකින් ඇය එම ධූරය අතහැරලා ගෙදර ගියා. ඒ වගේමයි ඒ කාලේ බෞද්ධ පන්සල් වල පෙරහැරවල් නවත්වන්න වුණා. සත්ත්ව හිංසාව කියලා අලි රජය යටතට ගත්තා. දළදා පෙරහැර තියන්න ප්‍රශ්න ඇතිවුණා. ඒ වන විට තිබුණු ද්විපාර්ශවීය රජයේ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ සිංහල බෞද්ධ සංස්කෘතියට විශාල වශයෙන් පහර දුන්නා. මගේ පක්ෂයේ මන්ත්‍රීවරු යම් කාලයක් මාත් එක්ක ඉදලා පස්සේ ඉවත් වුණා. මම තනියම සටන් කළා. බැරිම තැන සිදුවුණ අවසන් පිපිරීම තමයි රනිල් වික්‍රමසිංහ ඉවත් කර අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ පත්කිරීම. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ අන්තවාදයට එරෙහිව රට තුළ විශාල කතිකාවක් බිහිවුණා. පාර්ලිමේන්තුවේ කතාකරලා අලුත් නීති පැනවීමට එකඟතාවයකට ආවා. නමුත් ඒ කිසිවක් කරන්න බැරිවුණා,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ, “හිටපු ජනාධිපතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වන විට කරමින් සිටියේ යුද අපරාධ සම්බන්ධ වැරදි නෙමේනේ. සාමාන්‍ය නීතිය යටතේ කර තිබු වැරදි. ඔවුන් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමකුත් කර තිබෙනවා,” යනුවෙනි.

“මම එතනදි බලපෑම් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නෙමේ. රාජ්‍ය නොවන සංවිධාන වලට යටත්වෙලා ඔවුන් කරපු ක්‍රියාවලියට. මේ සැම දෙයක් ගැනම අධිකරණයට නිසි කරුණු දැක්වීමක් වුණා කියලා මම දන්නේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ කියා සිටියේය.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ මසකට වසරක් ඔබ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග පැවැත්වුවා යැයි ඔබ පැවසු විශේෂ රැස්වීමෙදි අන්තවාදය පිළිබද දැනුවත් කිරීම් සිදුවුයේද යන්නය.

“මේ කාලය වෙද්දි ඉස්ලාම් අන්තවාදි සංවිධාන විතරක් නෙමේ සිංහල සහ වෙනත් ජාතින් වල අන්තවාදි සංවිධානත් තිබුණා. මම නීතිය හා සාමය අමාත්‍යාංශය මගේ යටතට ගන්න කළිනුත් ඒවා තිබිලා තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය අන්තවාදය ගැන මා දැනුවත් කර තිබුණා ආරක්ෂක කවුන්සිලයේදි. කැබිනට් මණ්ඩලයේ මුස්ලීම් අමාත්‍යවරුන් ගොඩාක් ඉඳපු නිසා ආරක්ෂක කවුන්සිලයේ අන්තවාදය ගැන කළ දැනුවත් කිරීම් මම කැබිනට් මණ්ඩලයටත් දැනුම් දුන්නා. මුස්ලීම් අමාත්‍යවරුන් ඉඳපු නිසා ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලදිත් මම උපදෙස් දුන්නා අන්තවාදි අදහස් මර්ධනය කරන්න කටයුතු කරන්න කියලා,” යැයි හිටපු ජනාධිපතිවරයා කීය.

එම ප්‍රකාශයත් සමග,” ඔය කියන විදිහට උපදෙස් දීලා තිබුණානම් ඇයි 2019 අප්‍රේල් 21 දිවයිනේ ස්ථාන 08 ක බෝම්බ පිපිරුණේ,” යැයි රජයේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියාය.

“මම උපදෙස් දුන්නට ඇතැම් පාර්ශව ක්‍රියාත්මක නොවෙන තත්ත්වයක් තිබ්බා. 2018 ඔක්තෝම්බර් මාසේ ආණ්ඩු පෙරළියෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ආයේ ආවට පස්සේ මම දුන්න උපදෙස් ක්‍රියාත්මක වුණේ ම නැහැ. මම ජනාධිපතිවරයා හැටියට ලිපියක් ලිව්වත් ද්විපාර්ශවීය රජයේ අනෙක් පාර්ශවයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මැතිඇමතිවරුන්ට නිලධාරින්ට උපදෙස් දීලා තිබ්බා මගේ ලිපි පිළිගන්න එපා කියලා. දෙන උපදෙස් පහතට ගලා නොගිය නිසයි මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ යැයි,” හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *